Sri Lanka Convention Bureau

Hon. Prof. Ruwan Ranasinghe Recognized as a Key Global Personality in Tourism at SITF 2026 – Seoul, South Korea

Hon. Prof. Ruwan Ranasinghe Recognized as a Key Global Personality in Tourism at SITF 2026 – Seoul, South Korea

41 වසරක SITF ඉතිහාසය අලුත් කරමින් සංචාරක නියෝජ්‍ය අමාත්‍ය ගරු මහාචාර්ය රුවන් රණසිංහ මහතා ජාත්‍යන්තර ‘විශිෂ්ට සංචාරක පුරෝගාමී සම්මානයෙන්’ පිදුම් ලබයි

සංචාරක නියෝජ්‍ය අමාත්‍ය, ගරු මහාචාර්ය රුවන් රණසිංහ මහතා, කීර්තිමත් 2026 SITF විශිෂ්ට සංචාරක පුරෝගාමී සම්මානයෙන් (SITF Eminent Tourism Pioneer Award) පිදුම් ලැබූ බව ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරය ඉමහත් ආඩම්බරයෙන් යුතුව නිවේදනය කරයි. මෙම සම්මාන ප්‍රදානය 2026 ජූනි මස 04 වන දින දකුණු කොරියාවේ සෝල් නුවර, සම්චොන්ග්ගක් (SamcheongGak) හි පිහිටි ඉල්-හ්වා-ඩෑන්ග් (IL-HWA-DANG) හිදී පැවැත්වුණු 41 වන සෝල් ජාත්‍යන්තර සංචාරක ප්‍රදර්ශනයේදී (SITF) සිදු කෙරිණි.

මෙම ඇගයීම, ගෝලීය සංචාරක ක්ෂේත්‍රයේ ශාස්ත්‍රීය දායකත්වය මෙන්ම කර්මාන්තයේ ප්‍රායෝගික ක්‍රියාකාරීත්වය යන අංශ ද්විත්වයම දැඩි ලෙස ඇගයීමට ලක් කරමින් SITF සංචාරක සම්මාන කමිටුව විසින් වාර්ෂිකව සිදු කරනු ලබන පර්යේෂණ සහ විධිමත් ඇගයීම් ක්‍රියාවලියක ප්‍රතිඵලයකි. සෑම වසරකම ඉතා සීමිත පුද්ගලයන් සංඛ්‍යාවක් පමණක් දීර්ඝ නිරීක්ෂණයකින් පසුව මේ සඳහා තෝරා ගැනෙන බැවින්, මෙම උපහාරය ජාත්‍යන්තර සංචාරක ප්‍රජාව අතර ඉහළම ගෞරවයක් හිමිවන සම්මානයක් ලෙස සැලකේ.

2026 වසරේදී, සංචාරක කර්මාන්තය වෙනුවෙන් ජීවිත කාලය පුරාම දක්වන ලද කැපවීම අගයමින් කොරියාවේ දේශීය ප්‍රමුඛ පෙළේ නායකයින් තිදෙනෙකු සහ ජාත්‍යන්තර පෞරුෂයන් තිදෙනෙකු මේ සඳහා තෝරාගෙන ඇත. SITF ප්‍රදර්ශනයේ 41 වසරක ඉතිහාසය තුළ ශ්‍රී ලාංකිකයෙකු මෙම ප්‍රභූ කණ්ඩායම අතරට නිර්දේශ වී ඇගයීමට ලක්වූ පළමු අවස්ථාව මෙය වීම සුවිශේෂී වේ. ගරු මහාචාර්ය රුවන් රණසිංහ මහතාගේ මෙම තේරී පත්වීම, ගෝලීය සංචාරක ක්ෂේත්‍රය තුළ ශ්‍රී ලංකාව ඉදිරියෙන්ම සනිටුහන් කළ ඓතිහාසික සන්ධිස්ථානයකි.

මෙම සම්මානය හිමිවීම මහාචාර්ය රණසිංහ මහතා ලැබූ පෞද්ගලික ජයග්‍රහණයක් පමණක් නොව, සංචාරක කර්මාන්තයේ ප්‍රගමනය වෙනුවෙන් ශ්‍රී ලංකා රජය දක්වන කැපවීම ජාත්‍යන්තරව ලැබූ සුවිශේෂී සහ ආකර්ෂණීය ඇගයීමකි. එමෙන්ම, ප්‍රායෝගික මෙන්ම පර්යේෂණාත්මක සංචාරක සංවර්ධනය තුළ රටක් ලෙස ශ්‍රී ලංකාව අත්පත් කරගනිමින් සිටින වර්ධනය සහ විශ්වසනීයත්වය මෙයින් මනාව පිළිබිඹු වන අතර, ශ්‍රී ලංකාව සුවිශේෂී, විවිධත්වයෙන් පිරි සහ නවෝත්පාදන සංචාරක ගමනාන්තයක් ලෙස ඔසවා තැබීමට ඇති අභිලාෂය තවදුරටත් ශක්තිමත් කරයි.
මෙම සුවිශේෂී ඇගයීම පිළිබඳව අදහස් දක්වමින් ගරු මහාචාර්ය රුවන් රණසිංහ මහතා මෙසේ ප්‍රකාශ කළේය:

“SITF විශිෂ්ට සංචාරක පුරෝගාමී සම්මානයෙන් පිදුම් ලැබීමට සුදුසුකම් ලැබීම මා ලැබූ විශාල ගෞරවයක්. මෙම උපහාරය මගේ පෞද්ගලික ජීවිතයේ සන්ධිස්ථානයක් පමණක් නොව, ශ්‍රී ලංකාව ලොව ප්‍රමුඛතම සංචාරක ගමනාන්තයක් ලෙස ලබමින් සිටින ජාත්‍යන්තර පිළිගැනීමට ද සාක්ෂියක්. සංචාරක ව්‍යාපාරය ගෝලීය සබැඳියාවේ සහ සමෘද්ධියේ ප්‍රධානතම බලවේගයක් ලෙස ඉදිරියට ගෙනයෑමට කැපවී සිටින සංවිධායකයින්ට, හවුල්කරුවන්ට සහ සියලුම සගයන්ට මගේ හෘදයාංගම කෘතඥතාව පිරිනමනවා. ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ඉහළ නැංවීමට සහ අපගේ දිවයිනේ විවිධ වූ අත්දැකීම් ලෝකය සමඟ බෙදා ගැනීමට අපි සැවොම එක්ව අඛණ්ඩව කටයුතු කරන්නෙමු.”

මෙම ජාත්‍යන්තර සම්මානය, ගෝලීය සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රධානතම පාර්ශවකරුවෙකු ලෙස ශ්‍රී ලංකාවේ නැගී සිටීම තහවුරු කරන අතර, සංචාරක පර්යේෂණ ක්ෂේත්‍රයේ ශාස්ත්‍රීය විශිෂ්ටත්වය, තිරසාර වර්ධනය සහ සංස්කෘතික හුවමාරුව වෙනුවෙන් රටක් ලෙස දක්වන කැපවීම මැනවින් කියාපාන්නකි. ලෝක සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රායෝගික මෙන්ම ශාස්ත්‍රීය දායකත්වය අතින් පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකාව සතු දූරදර්ශී දැක්ම සහ ඉහළ අපේක්ෂාවන් ජාත්‍යන්තරය හමුවේ ප්‍රදර්ශනය කිරීමට ලැබුණු කදිම අවස්ථාවක් ලෙස ද මෙය හැඳින්විය හැකිය.

මාධ්‍ය ඒකකය,

Get In Touch

Call Us :

(+94) 114 865 050
(+94) 112 440 002

Mail Us :

mktslcb@srilanka.travel

Visit Us :

4th Floor, Hotel School Building,
No 78, Galle Road,
Colombo -03, Sri Lanka

Follow Us
Copyright © 2024 Sri Lanka Convention Bureau. All Rights Reserved.
Powered By Loops Integrated.

Welcome to the new SLCB website

Welcome to the new official website of the Sri Lanka Convention Bureau! We are continuously working to improve your experience. Please bear with us as we make updates and improvements. We apologize for any inconvenience and appreciate your understanding.